හිටපු කීර්තිමත් විදුහල්පති ගොඩ්වින් අයි ද සිල්වා මැතිතුමා පිළිබඳ ගුණ අනුස්මරණ සටහන
අප විද්‍යාලයේ 1987 වර්ෂයේ සිට 1998 වර්ෂය දක්වා පුරා වසර එකොළහක් ශ්‍රේෂ්ඨ විදුහල්පතිවරයෙකු ලෙස සේවය කළ, ඊයේ(26) දින අප අතරින් වියෝ වූ ගොඩ්වින් අයි.ද සිල්වා මැතිතුමාගේ සේවය පිළිබඳ කෙටි සටහනකි මේ.
1940 වර්ෂයේ අම්බලන්ගොඩ පුරවරයේ උපත ලබන මෙතුමා සිප්සතර හදාරන්නේ ධර්මාශෝක විද්‍යාලයෙනි. ඉන් අනතුරුව 1964 වර්ෂයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් භූගෝල විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා ගන්නා මෙතුමා ධර්මාශෝක විද්‍යාලය ඇතුළු තවත් විදුහල් කිහිපයකම ගුරුවරයෙකු ලෙස සේවය කර ඇත. අප විද්‍යාලයේ පිහිනුම් ක්‍රීඩාව භාර ගුරුවරයෙකු ලෙසත්, භූගෝල විද්‍යා ආචාර්යවරයෙකු ලෙසත් සේවය කළ මෙතුමාණෝ 1987 වර්ෂයේදී ධර්මාශෝක විද්‍යාලයේ විද්‍යාලාධිපති තනතුරට පත්වන්නාහ.
පේරාදෙණිය සරසවියේ අධ්‍යාපනය ලබන කාලයේදී මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ශූරීන්ගේ සිංහබාහු නාට්‍යයේ පළමු නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකු වූ මෙතුමා, එම ආභාසයෙන් පෝෂණය වූ නිසාම අප විද්‍යාලයේ උසස් පෙළ සෞන්දර්ය විෂය ධාරාව ආරම්භ කළේය. පාසල තුළ ,' පොසොන් බැති ගී සරණිය', 'රංග ගීතා' වැනි අවස්ථා ආරම්භ කරමින් සෞන්දර්ය අංශයට ඉමහත් සේවයක් සිදු කරන ලදී.
සිසු දරු දැරියන්ගේ ක්‍රීඩා, විෂය බාහිර හා කලා කුසලතාවයන් වර්ධනය කරන අතරම අධ්‍යාපන අංශයෙන්ද ජයග්‍රහණ ගෙන ඒමට ගුරු සිසු දෙපිරිසටම මග පෙන්වූ මෙතුමාණන්ගේ පාලන කාලය තුළ එනම්:
1991 වර්ෂයේදී: ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථමයා.
1992 වර්ෂයේදී: ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථමයා.
බිහි කිරීමට ධර්මාශෝක මාතාව භාග්‍යවන්ත වූවාය. මෙම සියලු ජයග්‍රහණ හමුවේ අප විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීමේ නියමුවාණන් වූයේ ද ගොඩ්වින් අයි.ද සිල්වා මැතිතුමා බව ගෞරවයෙන් සිහිපත් කරමු.
අපගේ පිහිනුම් තටාකය, ශ්‍රවණාගාරය ආදී වටිනා ඉදිකිරීම් සඳහා මූලික කටයුතු ආරම්භ කරන ලද්දේ මෙතුමා විසිනි. විශ්‍රාම ගැනීමෙන් පසුව 2013 වර්ෂයේදී අප විද්‍යාලයේ සියවස් සැමරුම සඳහා පිහිටුවන ලද සංවිධානයේ ප්‍රධාන සංවිධායක ධුරය හොබවන්නේද මෙතුමාණෝය.
දක්ෂ පිහිනුම් ක්‍රීඩකයෙකු, කථිකයෙකු,නළුවෙකු මෙන්ම ගීත රචකයෙකු ලෙස විවිධ භූමිකාවන් නිරූපණය කළ මෙතුමාණෝ පසු කලෙක විද්‍යාලයේ වසර 113ක ඉතිහාසයෙන් වසර 50ක ඉතිහාසය අලලා විදුහල අප මව් ධර්මාශෝකා කෘතිය රචනා කරමින් ග්රන්ථ රචකයෙකුද වන්නාහ.
අසීමිත කැපවීමෙන් දම්සෝවේ කීර්තිමත් යුගයක් සනිටුහන් කළ ශ්‍රේෂ්ඨ දම්සෝ පුත්‍ර රත්නයක් වූ හිටපු විදුහල්පති ගොඩ්වින් අයි.ද සිල්වා මැතිතුමනි, ඔබ දම්සෝවට ඉටු කළ අමිල වූ මෙහෙවර,ඔබට අමා මහ නිවන් සුව ලැබීමට හේතු වේවා!
(උපුටා ගැනීම:- ධර්මාශෝක විද්‍යාලයීය මාධ්‍ය හා විකාශන ඒකකය)